ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව
විනයධර භික්ෂූන් වහන්සේලාගෙන් අගතැන්පත් උපාලි මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍යවර දාසක මහතෙරුන්, සිග්ගව මහතෙරුන්, මොග්ගිපුත්තතිස්ස මහතෙරුන් යන මහ රහතන් වහන්සේලාගේ ප්‍රමුඛත්වයෙන්, ධර්මාශෝක රජුගේ අනුග්‍රහයෙන් තෘතීය සංඝායානාව තෙක් බුදු සසුන රැක ගැනීම සිදුවිය. තෘතීය සංගීතිකාව පවත්වා, බුද්ධ වර්ෂ 235 ඉල්සම දී ලක්දිව ඇතුළු රටවල් 9 ක බුදු සසුන පිහිටුවන ලදී.
මිහිඳු මාහිමියන් ප්‍රමුඛකොට, මෙරටට පැමිණි බුදු දහම එදා සිට අද දක්වා විරාජමානව වැඩසිටීමට, සසුන් කෙතේ පහළ වූ උත්තුංග යතිවරයාණන් වහන්සේලාගේත් ශ්‍රේෂ්ඨ නරවිරුවන්ගේත් අප්‍රහිත ධෛර්යය, ජීවිත පූජාව හරහා සිදුවිය. එසේ පැමිණි යුග අතර අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි, කුරුණැගල යුගයන් තුළ ශාසනික චිරස්ථිතිය උදෙසා කැපී පෙනෙන විශිෂ්ඨ සේවාවක් සිදුවිය. ඒ කාලය හා ඉන්පසු කාලය තුළ මෙරට ඇතිවූ විදේශ බලපෑම් සමඟ බුදු දහම අතුරුදහන්ව යන ස්වාභාවක් දිස්විය. එමෙන්ම මෙරට තුලදීම බුද්ධ දර්ශනයේ මූලික හරය පසෙකලා කටයුතු කිරීම සිදුවිය. එකී ශාසනික ගමන්මගට තිබූ වැට කඩොලු බිඳ දමමින් සංඝයා රැස්වී, රජු හා සමඟ නැවත සාසනික පුනරුදයන් හරහා බුදු සසුන බැබළ වූහ. ඒ ආගමනයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පිහිටුවා ගැනීමද අග්‍රගණ්‍ය සාසනික සන්ධිස්ථානයකි. බුරුම රට රාමඤ්ඤ දේශයේ වැඩවාසය කළ ස්වාමින් වහන්සේලාගේ උපකාරයෙන් පිහිටවූ නිසාම එය, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය නම් විය.
අතිපූජනීය අඹගහවත්තේ ශ්‍රී සරණංකර මාහිමිපාණන් වහන්සේගේ අප්‍රහිත කැපවීම් මත හා මූලිකත්වය මත අතිපූජනීය පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද මාහිමියන් වහන්සේගේ සහයෝගයද සහිතව අතිපූජනීය වරාපිටියේ සුමිත්ත මහා ස්ථවිරයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් ශ්‍රී බුද්ධ වර්ෂ 2407 වූ ඇසළ අවතුදුස්වක දින (ව්‍යවහාර වර්ෂ 1864 ජූලි 12) ගාල්ල මහමෝදර උදකුක්ඛේප සීමා මාලකයේ දී ප්‍රථම උපසම්පදා විනය කර්මය කොට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය නැමැති භික්ෂු වංශය ආරම්භ කළ සේක.
“අත්ථිකේහි උපඤ්ඤාතෝ මග්ගෝ”
“අර්ථය සොයන්නාට මාර්ගයක් ඇත”
යන ගාම්භීර දැහැමි ආදර්ශ පාඨය මූලික කරගනිමින් බුදු දහමේ නියමු වූ හර පද්ධතියට මෙරට ශාසනික ගමන් මග නැවත හරවාලීම උදෙසා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට අනුබද්ධ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව නම් වූ දැවැන්ත වෘක්ෂයේ මූල බීජය රෝපණය කරන ලදී.
ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංථාවට අනුබද්ධ ආරණ්‍ය සේනාසන සහ යෝගාශ්‍රම නාමාවලිය.
වැඩි විස්තර