
ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව ඇරඹීමට ඉමහත් වෙහෙසක් දැරූ, කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ ස්වාමින් වහන්සේට මහත් සවියක් වූයේ, අතිපූජනීය මාතර ශ්‍රී ඤාණාරාම මාහිමිපාණන් වහන්සේය. එම ස්වාමීන් වහන්සේලා දෙනමගේ සුසංයෝගයෙන් දම් දිවයිනට පුදන ලද, ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව, ශක්තිමත් භික්ෂු බලකොටුවක් කිරීමට තමන් වහන්සේ සතු දහම් දැනුම, අධිෂ්ඨාන ශක්තිය, වීර්යය, සීල ගුණය, සමාධි ගුණය, ප්‍රඥා ගුණය ආදිය යොදා ගනිමින්, අප මාහිමිපාණන් වහන්සේ අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව පුරෝගාමිත්වය ගෙන කටයුතු කළ හ.
මාතර දිස්ත්‍රික්කය ගඟබඩ පත්තුවට අයත් ටික්කනාගොඩගම පදිංචි දෙද්දුව ජයතුංගගේ දොන් බස්තියන් උපාසක මහතාට දාව, සුපින්වත් වට්ටග්ගොඩ හාමිනේ මාතාවගේ කුසින්, වර්ෂ 1901 දෙසැම්බර් 11වන දින මෙලොව එළිය දුටු මාහිමිපාණෝ, එම පවුලේ 8 වැනි දරුවා වූ අතර, දෙද්දූව ජයතුංගගේ දොන් දියෙස් ජයතුංග නම් වූහ. නිසි පරිදි පාසල් අධ්‍යාපනයක් නොලද කුමරුවාණෝ, ස්වාමීන් වහන්සේලා කීප නමක් ළඟ නැවතී උපස්ථාන කරමින්, මූලික ඉගෙනීමක් ලබා ගැනීමට භාග්‍යවත් වූහ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රථම සංඥා ලේඛකාචාර්යය පදවිය හෙබ වූ පූජනීය මාතලේ සිරි අග්ගධම්මාලංකාර හිමිදුන්ගේ ආචාර්යය උපාධ්‍යායත්වයෙන්, 1917 දෙසැම්බර් මස දී උතුම් සසුන් පැවිද්ද හා මාතර ඤාණාරාම යන නමද ලබා, තවදුරටත් බණ දහම් මැනවින් උගෙන, 1922 ජුලි මස 4 වන දින කොළඹ තොටළඟ කල්‍යාණි නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී, ධූතාංගධාරී අති පූජ්‍ය ශාස්ත්‍රවෙල්ලියේ උපසේන මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන්, උපසම්පදාව ලද මාතර ඤාණාරාම සමිඳුන්, එතැන් පටන් තවදුරටත් ධර්ම-විනය ඉගෙන ගන්නා අතරතුර, සිංහල, පාළි, සංස්කෘත භාෂාවන් පිළිබඳ ව හසළ දැනුමක් ලබා ගත්හ. තවද භාවනාවන් පිළිබඳවද ගැඹුරු අත්දැකීම් ද, මාහිමියන් සතු විය.
එමෙන්ම 1951 වර්ෂයේදී ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව ඇරඹීමට කටයුතු කර, නව භික්ෂු පරපුරක් ඇති කොට, තමන් වහන්සේ ප්‍රගුණ කළා වූ සමථ විදර්ශනා භාවනාවන් සිය ශිෂ්‍ය පිරිසට උගන්වා, භාවනායෝගී සඟ පරපුරක් ඇති කිරීමට දිවා රෑ වෙහෙසී කටයුතු කළ හ. එසේම තමන් වහන්සේ ධුතාංග පුරා, අන් සැමදෙනද ධූතාංග පිරීමට යොමු කළහ. ධර්ම-විනය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ද, එය මනා සේ ශිෂයන්ට වටහා දීමේ පුදුම ශක්තියක් ද අප මාහිමිපාණන් සතු විය. සුපේෂල ශික්ශාකාමි ආදර්ශවත් භික්ෂු දිවියක් ගත කළ මාහිමියෝ, බුදු සසුනට භික්ෂුවකගෙන් ඉටුවිය යුතු කෘත්‍යයන් ඉටු කරමින් සිට, 1992 අප්‍රේල් මස 30 වනදා අපවත් වී වදාළ සේක.

නිර්මල බුදු සසුන බොහෝ කල් පවත්වා ගැනීමට විශාල සවියක් වෙමින් සීල, සමාධි, ප්‍රඥා ගුණයන්ගෙන් මැනවින් සුපෝෂිත ව, සමතිස් පෙරුම් දම් පුරමින් අසංඛෙය්‍ය ගණන් ලෝ සතුන්ට මහා කරුණාධ්යාසයෙන් යුතුව සසර සයුරෙන් එතෙර කරවීමේ අදිටනින් යුතුව යන ගමනේදී, අප මාහිමිපාණෝ, තම එක් නවාතැන් පළක් ලෙස ව්‍යවහාර වර්ෂ 1907. 04. 01 දින උදේ 7.30 ට රුහුණු රට මාතර දිස්ත්‍රික්කයෙහි කඩවැද්දුව ගමෙහිදී, පී. දොන් පුංචි අප්පුහාමි සහ වික්‍රමරත්න දිසානායක හාමිනේ යන පින්වත් දෙමවුපියන්ගේ සතරවන දරුවාණන් ලෙසින් ජනිත වූයේ, දොන් දිනේෂ් යන නම ලබමින්ය.
පස් හැවිරිදි වියෙහිදී යටියන ස්වභාෂා පාඨශාලාවට ඇතුලුවූ මෙම කුල කුමරුවන්, පස් වසරක් ඉතා දක්ෂ ලෙස මූලික අධ්‍යාපනය ලද්දේය. මේ අතර සිය පියතුමන්ගේ සහෝදරයාණන් වූ, එවකට යටවර ශ්‍රී වර්ධනාරාම අධිපති ව වැඩ විසූ, අතිපූජනීය කඩවැද්දුවේ සිරි සුගුණතිස්ස මහා ස්ථවිරයන් වහන්සේගේ උපස්ථානය පිණිස දස හැවිරිදි වියේදී, දිනේෂ් කුමරුවාණන් යොමු කෙරුණේ ය. එහිදී එම හිමියන්ගේ නියමයෙන් ගරුතර සිරි සද්ධම්මවංශ මාහිමිපාණන් වහන්සේගේ ඇසුරෙහි, පාලි හා සංස්කෘත ඉගෙනීම ආරම්භ කළ කුමරුවන්, ගරුතර පණ්ඩිත මාතර ශ්‍රී ධර්මවංශ මාහිමිපාණන් වහන්සේගේ සෙවණෙහි තවදුරටත් සිප්සතර හදාරන ලදී.
තුදුස් වියැති කුමරුවාණන් මූලික බණ දහම් ප්‍රගුණ කොට, අතිපූජනීය සුගුණතිස්ස නාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා පූජනීය අරියවිලාස තෙරපාණන්ගේ ආචාර්යත්වයෙන්, එවකට රාමඤ්ඤ නිකායේ අධිකරණ නායක ධූරය ඉසුලූ, අතිපූජනීය කෝදාගොඩ උපසේන මාහිමිපාණන් වහන්සේගේ පින්බර සුරතින්, කඩවැද්දුවේ ජිනවංශ නමින්, හොරණ පූර්වාරාමයේ දී ව්‍යවහාර වර්ෂ 1921අගෝස්තු මස 21 වැනි දින උතුම් වූ ශාසන ප්‍රවෘජ්‍යාව ලබා ගැනීමට වරම් ලැබීය.
ඉන් අනතුරුව පයාගල ධර්මගුප්ත පිරිවෙනෙහි දී ද, වැල්ලවත්තේ ධර්මෝදය පිරිවෙනෙහි ද මනාව ධර්ම ශාස්ත්‍ර හැදෑරීමෙහි යෙදී, විසි වස් සම්පූර්ණ වීමෙන්, වර්ෂ 1927 ජූලි මස 03වන දින, මිරිස්සේ පොල්වතුමෝදර උදකුක්ඛේප සීමාවේදී, එවකට රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධුරය දැරූ, අති පූජනීය සිරි සද්ධර්මාචාර්ය මාතර ශ්‍රී ඥාණින්දාසභ මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන්, අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලදී.
කුඩා කල සිටම ඉගෙනීමට දස්කම් පෑ මාහිමිපාණන් වහන්සේ, 1931 දී ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් සමත්ව, 1932දී ග්‍රන්ථාකර නමින් පිරිවෙනක් අරඹා, බොහෝ ශිෂ්‍ය පිරිසකට ධර්මය ඉගෙනීමට අවස්ථාව සලසමින්, තමන් වහන්සේද තව තවදුරටත් ඉගෙනීමේ යෙදෙමින්, 1940 දී ප්‍රාචීන මධ්‍යම විභාගයෙන් ද 1945දී ප්‍රාචීන අවසාන විභාගයෙන් ද ඉහලින්ම සමත් වී, රාජකීය පණ්ඩිත උපාධියෙන් සම්මානිත ව, 1946 දී එම විභාගය මෙහෙයවූ ප්‍රාචීන භාෂෝපකාර සමිතියේ ගරු සාමාජිකත්වයද ලදහ. මේ අතර 1934 පිරිවෙන් අවසන් පරීක්ෂණයෙන් ද ඉහළම සමාර්ථයක් ගත්හ.
මෙසේ දහම් දැනුමින් සුපෝෂිත ව ශාසනමාමක ගෞරවයෙන් වැඩවසන මාහිමිපාණන්ට, ශාසනික ප්රතිශෝධනයක් කිරීමට කාලය පැමිණ ඇති වගට චිත්ත සන්තානයෙහි පහළ වූ අති උදාරතර සිතිවිල්ලක් සමග ක්‍රියාත්මක වූ තෙරණුවෝ, ත්‍රිපිටක ධර්මය හා භාෂා පිළිබඳ හසළ දැනුමකින් පිරිපුන්ව සිටි, අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ මූලිකත්වයේ තබාගෙන, තුන් සිවුරත්, පාත්‍රයත්, තල්අතු කුඩයක් පමණක් ගෙන, ආරණ්‍යවාසී ජීවිතයකට මුල පුරමින්, ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව අරඹා, සැබෑ ආරණ්‍යවාසී භික්ෂුවකගේ ජීවන රටාව ලොවට පසක් කරමින්, සියලු පැවිද්දන්ට ආදර්ශමත් ජීවිත ගමනක් ඇරඹීය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට අනුබද්ධිත, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක හා ප්‍රධාන අනුශාසකත්වය, ශ්‍රී ආර්යවිලාස වංශාලංකාර, සද්ධර්මාවාගීස්වරාචාර්ය, ප්‍රතිපත්ති සෝබන, ගණපාමොක්ඛාචරිය, ආචාර්ය රාජකීය පණ්ඩිත ආදි ගෞරව නාමයන්ගෙන් පිදුම් ලත් අති පූජනීය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශාභිධාන මාහිමිපාණන් වහන්සේ, සම්බුදු සසුන සුරැකීමට පහළ වූ මිනිපහනක් වෙමින්, මේ දිවයින භික්ෂූන්වහන්සේලාට භාවනායෝගී ප්‍රතිපත්ති මාර්ගයකට දොරටු විවෘත කර දෙමින්, අවවාද අනුශාසනා දෙමින්, පුරා 96 අවුරුද්දක් ආයු විඳින අතරතුර, සිය ශිෂ්‍ය පිරිස කැඳවා, තම උදාර ජීවිතය පිළිබඳව ආදර්ශමත් කතාවකින් අනතුරුව, තව දෙදිනකින් මාගේ අපවත් වීම සිදුවන බව පවසා, ශිෂ්‍යයනට දිය හැකි අනිත්‍යය පිළිබඳ අන්තිම අවවාදය ද දෙමින්, වර්ෂ 2003 ජුලි මස 13 වන ඉරු දින රාත්‍රී 10ට පමණ මනා සිහි නුවණින් යුතුව අපවත් වී වදාළ සේක.

සත්පුරුෂ ගුණැති ආජානෙය්ය පුරුෂෝත්තමයන්වහන්සේලා මෙලොව දුර්ලභය. එවැනි උතුමෝ සැම කල්හි පහළ නොවෙති. යම් තැනෙක් හි එවැනි ඥානවන්ත උතුමන් වහන්සේ නමක් ලොව උපදී ද, ඒ කුලයට – ජාතියට මහත් සැපයක් ගෙන දෙන්නේය.
එවැනි ශ්‍රේෂ්ඨ ගණයේ මහෝත්තමයාණන් වහන්සේලාගේ උදාර සංකල්පනාවන් මත බිහි වූ ශ්‍රී කළ්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව තුළ සම්බුද්ධ ශාසනයට ජීවය ලබා දෙමින් වැඩවාසය කළ අති උත්තම වූ මාහිමිපාණන් වහන්සේ නමකගේ තොරතුරු බිඳකි මේ.
ජන්මභූමිය
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉහළ ඕතොට කෝරලේ කෑරලන්කඩවල ගම්පති සීමාවට අයිති කුඩාපොල හෙවත් ඉමිහාමිනේගම ය.
මව්පිය දෙපළ
කුරුණෑගල රජ සමයේ දිසානායක අදිකාරම් පෙළපතේ දිසානායක මුදියන්සේලාගේ කළුබණ්ඩා උපාසක තැන පියාණන්වහන්සේ ය. දිසානායක මුදියන්සේලාගේ මානිංගමුවේ ගෙදර පුංචිමැණිකා මහෝපාසිකාව මාහිමියන් වහන්සේගේ මෑණියෝය.
මාහිමි උපත
1939 අප්‍රේල් මස 24 වන සඳු දින උපත ලැබූ පින්වත් කුමාරයා, නමින් දිසානායක මුදියන්සේලාගේ හීන්බණ්ඩා ය. වැඩිමහල් සහෝදරයෝ දෙදෙනෙක් ද, වැඩිමහල් සහෝදරියක් ද, බාල සහෝදරයෙක් හා සහෝදරියන් දෙදෙනෙක් ද විය.
පැවිද්දට සිත යොමු වීම
1954 වර්ෂයේ ආරම්භ වූ නා උයන ආරණ්‍ය සේනාසනය නිසාත්, වයස 14 දී පමණ මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් හා කඩවැද්දූවේ ශ්‍රී ජිනවංස මාහිමියන් දැන හඳුනාගන්නට ලැබීමෙන් තවත් පැවිද්දට සිත නැමුණේ ය.
අභිනික්මන-පණ්ඩුපලාස අවධිය
1956 බුද්ධ ජයන්ති වර්ෂයේ ඔක්තෝම්බර් 27 වෙනිදා පියතුමා සමඟ ගොස් නා උයන ආරණ්‍ය සේනාසනයේ වැඩසිටි විගොඩ බෝධිරක්ඛිත ස්වාමීන් වහන්සේ වෙතට භාර කරවීමෙන් පසු හිසකෙස් බා, ගුරු අන්දවා, දසසිල් සමාදන් කරවූහ. මූලික වත් පිළිවෙත් සපුරමින් 1957 මාර්තු 2වෙනි දින ගල්දූවට ගොස් එහිදී පාළි භාෂාව, ධර්මදේශනා, භාවනා ක්‍රම හා තව දුරටත් වත්පිළිවෙත් ආදිය පුහුණු වූහ.
සාසනික පැවිද්ද ලැබීම
අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාමාභිධාන මාහිමිපාණන් වහන්සේ හා ප්‍රධාන අනුශාසක අතිපූජනීය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශාභිධාන මාහිමිපාණන් වහන්සේලාගේ සුරතින් 1957 මාර්තු 27 දින උදෑසන පැවිදි බිමට පත් වූහ. නමින් නා උයනේ අරියධම්ම නම් විය.
හෙරණ බණ දහම් පුහුණුව
නාථගන ආරණ්‍ය සේනාසනාධිපති අතිපූජනීය ගැටමාන්නේ විමලවංස පණ්ඩිත මාහිමිපාණන් වහන්සේගේ ගුරු ඇසුරෙහි සාමණේර කාලය තුළ අධ්‍යාපනය ලැබූහ. මජ්ඣිම නිකායම කටපාඩම් කිරීම හා බාලාවතාරය, රූපසිද්ධි වැනි ව්‍යාකරණ ග්රන්ථ කටපාඩම් පාඩම් කරමින්ම අර්ථ ඉගෙන ගැනීම සිදුකළහ. පිරිත් පොත, සතිපට්ඨාන සූත්‍රය, ධම්මපදය, සූත්‍ර සංග්‍රහය වැනි ග්රන්ථ ද සාමණේර අවධියේදීම කටපාඩම් කළ යතිවරයාණන් වහන්සේ, සිවුරු කැපීම, මැසීම ආදියත් පුහුණු වූහ. කංඛාවිතරණි මාතිකට්ඨකතාව, සිඛවළඳ, සිඛවළද විනිස සම්පූර්ණ කිරීමත්, අභිධර්මාර්ථ සංග්‍රහයත් ඉගෙනීම කොට සතියක් ඇතුළත ප්රාතිමෝක්ෂ පාළියද කටපාඩම් කර අධිශීල සංඛ්‍යාත උපසම්පදා භූමියට පත් වීමේ සුදුසුකම් ලැබූහ.
උපසම්පදාව ලැබිම
1959 ජූලි මස 15 වැනි බදාදා දින නිමලව ආරණ්‍ය සේනාසනාධිපති ව වැඩ විසූ අතිපූජනීය මඩවල ධම්මතිලකාභිධාන මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන්, අතිපූජනීය මාතර ශ්‍රී ඥාණාරාම මහෝපාධ්‍යායන් වහන්සේ, කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ පණ්ඩිත මාහිමිපාණන් වහන්සේ, ගැටමාන්නේ ශ්‍රී විමලවංශ මාහිමිපාණන් වහන්සේ, මුණගම සිරිසුමන මාහිමිපාණන් වහන්සේ, දේවගොඩ මංගලසිරි මාහිමි පාණන්වහන්සේලා යන කර්මාචාර්යයන් වහන්සේලා ප්‍රධාන සත් විසි ගණ පූරක සඟ පිරිස අභිමුඛයේ අලව්ව අශෝක ආරණ්‍ය භූමියේ, කුඩාඔය උදකුක්ඛේප සීමා මාළකයේදී අධිශීල සංඛ්‍යාත උතුම් උපසම්පදා භූමියට පත් වූහ.
වැඩිදුර අධ්‍යයනය හා ස්මරණ ශක්තිය
අතිපූජනීය ගැටමාන්නේ පණ්ඩිත මාහිමිපාණන් වහන්සේගෙන් විනය පිටකය අටුවාව සහිතව ඉගෙන ගත් අතර 1961 ජූලි මස පැවති යෝගාශ්‍රම සංස්ථා දසවස් සැමරුම් පිංකමේ දී විනය පිටකයේ විභංග කොටස කටපාඩම් කොට අවසන්ව තිබූ බැවින්, විභංගාචරිය යැයි සම්මාන ලැබූ මාහිමිපාණන් වහන්සේ, 1962 පෙබරවාරි දෙවැනි දා වන විට විනය පිටකය සම්පූර්ණයෙන්ම කටපාඩම් කර අවසන් කළ හ. පසුව අභිධර්ම පිටකය හා සූත්‍ර පිටකයත් පාඩම් කළහ. තවද විශේෂයෙන්ම අතිපූජනීය රේණුකානේ චන්දවිමල මහා නායක මාහිමිපාණන් වහන්සේ හා දෙවිනුවර ඥාණාවාස මාහිමිපාණන් වහන්සේලාගෙන් අභිධර්ම පිටකය ඉතා මැනවින් හැදෑරූ සේක.
සසුන් කිස හා සසුන් සේවාව
ධර්ම දේශනා පැවැත්වීම්, කමටහන් දීම, සඟ පිරිසට ඉගැන්වීම් කටයුතු කිරීම් හා උපසම්පදා පුණ්‍ය කර්ම ආදියෙන් බොහෝ දෙනාගේ හිත සුව පිණිස අනර්ඝ ශාසනික සේවාවක් සිදු කළහ.
මාහිමිපාණන් වහන්සේ ලත් ධර්ම ඥාණයන් – භාවනා ඥාණයන්, ධර්ම දේශනාවන් සේ ගුවනට මුසු වෙද්දී සියතින් ලියන ලද ධර්ම ග්රන්ථ අතුරින් සූවිසි පට්ඨාන ප්රත්යයන සංග්‍රහය නම් වූ සංක්ෂේප පට්ඨාන සන්නය, වීථි විභාගය සහිත පට්ඨාන ත්‍රිරාශිය, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම ඉතිහාසය, සංක්ෂිප්ත භික්ෂු සීලය, සාරාණීය ධර්ම චින්තා, භාවනා, යමක වාචනා මාර්ගය, කර්මස්ථාන ප්‍රදීපය, බුදුගුණ භාවනා, දහම් ගුණ භාවනා, සඟ ගුණ භාවනා, මෛත්‍රී – අසුභ – මරණ සති භාවනා, සතිපට්ඨාන භාවනා, විපස්සනා භාවනාව, අභිධර්ම භාවනා, විශේෂ අභිධර්ම භාවනා ආදී ධර්ම ග්රන්ථ රැසක් ස්වාමින් වහන්සේගේ සුරතින් බිහිවිය. තවද ධර්ම දේශනා ඇසුරෙන් ලියැවුණු ග්රන්ථ සහශ්රාධිකය. මෙසේ ධර්මයෙන් ස්වයංපෝෂිත මාහිමියන් වහන්සේ බුදු උවටැන, ඇදුරු උවටැන ද අමතක නොකළ හ. මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේත්, කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ ස්වාමීන් වහන්සේත් රෝගාතුරව සිටිය දී මනාකොට උපස්ථාන කරමින් තම යුතුකම නොපිරිහෙළා ඉටු කළේය. තවද තම පියතුමා වෙනුවෙන් කළ යුතු උවටැන ද, මනාව මාහිමිපාණන් වහන්සේ විසින් ඉටු කරනු ලැබූහ. අපගේ මහා යතිවරයාණෝ ලක් දෙරණට පමණක් සීමා නොවී, දේශදේශාන්තරයන්හි පවා වැඩම කළේ බුදුදහමේ හරය හෙවත් ආධ්‍යාත්මය ගවේෂණය කරන අධිටනින්ය.
බුරුම රටට එකළොස් වරකටත් වඩා වැඩමකර පළමුවෙන් මහාසී භාවනා පුහුණුවෙන් විදර්ශනාව වඩා ඉන් ඔබ්බට පියමං කරමින්, සමථ පූර්වාංගම විපස්සනා භාවනා ක්‍රමයට වැඩි කැමැත්තක් දැක් වූ මාහිමිපාණන් වහන්සේ බුරුම රට මෝලමියන් පා අවුක් ආරණ්‍ය සේනාසනාධිපති අග්ගමහා කම්මට්ඨානාචාර්ය අතිපූජනීය ඌ ආචිණ්ණ පා අවුක් සයාඩෝ මාහිමිපාණන් වහන්සේගේ ඇසුරින් පෞරාණික විසුද්ධි මාර්ගය අලලා සැකසූ සමථ විපස්සනා භාවනා පුහුණුව ලබා, එහි ප්‍රතිඵලයක් ලෙස නා උයන ආරණ්‍ය නම් උතුම් ප්‍රතිපත්ති නිකේතනයක් කරවීමටද තම උපදෙස් ලබා දෙමින්, මාහිමියන් වහන්සේ මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය, ඉන්දුනීසියාව, ජාවා, සුමාත්‍රා දූපත්, හොංකොං, තායිවානය, චීනය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, නේපාලය ආදී රටවල ධර්ම දේශනා හා භාවනා වැඩසටහන් පවත්වමින් දෙනෝ දහසක් දෙනාගේ සිත් අමා දහමින් පහන් කළහ.
තනතුරු හා සම්මාන
ගුරු ඔවදනට සුවච කීකරු වූ මාහිමිපාණන් වහන්සේ යෝගාශ්‍රමීය කතිකාවත්, දින චරියාවනට අනුගත වෙමින්, කොහෙත්ම තනතුරු සම්මාන පිටුපස නොගොස්, ලැබුණු දේ පිළිගෙන කටයුතු කළ අතර මාහිමිපාණන් වහන්සේගේ ත්‍රිපිටක බුද්ධ වචනය දරාගැනීම වශයෙන් දැක්වූ දක්ෂතාවය නිසාම, ත්‍රිපිටකධරාචාර්ය යන ගෞරව උපාධි නාමයත්, බොහෝ කාලයක් තුළ ප්‍රගුණ කළ සමථ විපස්සනා පුහුණුවත් නිසා 2006 වසරේදී බුරුම රටින් මහාකම්මට්ඨානාචාරිය සම්මානයත් 1968 සිට පිළිවෙලින් යෝගාශ්‍රමීය මහා සංඝ සභාවේ සංඥා ලේඛකාධිකාරී ධූරයේ පටන් මහා ලේඛකාධිකාරී ධූරය දක්වා සසුන් මෙහෙවර ඉටුකරමින්, 2003 වර්ෂයේ අතිපූජනීය පණ්ඩිත මාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් පසු යෝගාශ්‍රමාධිපති හා ප්‍රධාන අනුශාසක ධූරයෙන් පිදුම්ලත් මහා යතිවරයාණන් වහන්සේ, 2012 වර්ෂයේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය පදවිය සමග ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය සාසනධජ ගෞරව නාමයත් ලත් මාහිමියන් වහන්සේගේ සසුන් මෙහෙවර අගයමින්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සමාරම්භයෙන් වසර 150ක් සපිරීම නිමිත්තෙන්, ශ්‍රී ජිනවංශ ඥානාරාමවංශාවතංශ යන ගෞරව නාම ලත් රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවියෙන් 2014 වර්ෂයේදී පිදුම් ලත්, ව්‍යක්ත, විශාරද ධර්මානුධර්ම පටිපන්න යන සංඝ සෝභන ගුණයන්ගෙන් පිරිපුන් සීල මහන්ත, ගුණ මහන්තතාවන්ගෙන් ශෝභමාන මහා සංඝ පීතෘන් වහන්සේ නමක් වූයේය.
අවසන් මොහොත
2016 ක් වූ ජූලි මස් 17 වන දින මාහිමිපාණන් වහන්සේගේ සමසැට වන මහා සංඝ සම්මේලනය පවත්වා, සිසුන්ට අවවාද කොට පසුදින තම සුරතින් අවසන් පැවිදි කුල දරුවා සසුනට දායාද කර, පුරා සම පනස් වසරක්, කර්මවාගාචාර්යයෙන් සසුන් කෙත අස්වැද්දූ මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන්, අසූ නමකට අධික හෙරණුන් අධිශීල සංඛ්‍යාත උපසම්පදා භූමියට පත් කොට, ටික කලක් විවේකීව වැඩ සිට, හදවත් රෝගයෙන් හා වෙනත් රෝගාබාධයන් නිසා රෝහල් ගත වී ප්‍රතිකාර ලබමින් සිටියදී, 2016 ජූලි මස 21වැනි දින, කොළඹ ඩර්ඩන්ස් රෝහලේ දී පැය 13 ක ශල්‍යකර්මයකට භාජනය වීමෙන්, ඉතා සුව අතට පත් වුවත්, දෙවන ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසු, අසාධ්‍ය තත්වයට පත්වී, අතිපූජනීය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේ, පුජනීය නාගපොකුණේ අරියසීල උපස්ථායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන, යෝගාශ්‍රමීය සඟ පිරිසගේ උපස්ථාන හා සෙත් ශාන්තිය ලබමින් සිට, මේ සසුන්කෙත මහා ගුණ කදම්භයකින් ඔපවත් කළ, අති පූජනීය වූ මාහිමිපාණන් වහන්සේ, මාස එකහමාරක් පමණ පිරිත් සජ්ඣායන මධ්‍යයේ වැඩ සිට, 2016 ක් වූ සැප්තැම්බර් මස 7 වැනි දින අලුයම 2.15 සිහිනුවණින් අපවත් වී වදාළ සේක. ඒ් සියලු සංස්කාරයන්ගේ අනියත, අස්ථිර බව හා තම ජීවිතයද එම ලෝක ධර්මතාවයට යටත් බව ප්‍රකට කරවමිනි.

ආරණ්‍ය සම්ප්‍රදායට මුල් තැනක් ලබා දෙමින්, පැවත එන ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ වත්මනෙහි ප්‍රධාන අනුශාසක පදවිය හොබවන්නේ, අති පූජනීය පහලවිටියල ජනානන්ද ස්වාමීන් වහන්සේ ය. වර්ෂ 1938 වූ මැයි මස 6 වැනි දින දකුණු පළාතෙහි මාතර දිසාවෙහි තිහගොඩ පහලවිටියල ගමේ උපන් තෙරණුවෝ, කුඩා කල සිටම ගම්බද සිරියාව විඳ ගනිමින් සිප්සතර හැදෑරීම සඳහා කිතලගම බෞද්ධ මිශ්‍ර පාසලට ඇතුළත් වුයේ ය.
පෙර සසරේ දී පුරන ලද පුණ්‍ය පාරමිතා ඉස්මතුවෙමින් වර්ෂ 1961 ක් වූ දෙසැම්බර් මස 22 දින කිරින්ද ආරණ්‍යයේ දී පහලවිටියල ජනානන්ද සාමණේරයන් වහන්සේ නමින් පූජනීය පණ්ඩිතාචාර්ය කැකුණේවෙල ඉන්දගුත්ත මාහිමියන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් පැවිදි බිමට පත් විය. ඉන්පසු සාමණේර බණ දහම් මනා ලෙස උගෙන ගනිමින් ද, අනෙකුත් ධර්ම-විනය ද හැදෑරූ තෙරණුවෝ, 1964ක් වූ අගෝස්තු මස විසි වෙනි දින දෙල්දූව විවේකාරාමාසන්න මාදු ගඟේ උදකුක්ඛේප සීමාවේදී, අතිපූජනීය ඉන්දගුත්ත මාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලබා ගත්හ. එහි දී ආචාර්යයන් වහන්සේ බවට පත් වූයේ, අති පූජනීය ගොඩගම විජයපාල මාහිමිපාණෝය.
නිහඬ ශාන්ත දිවියකට හිමිකම් කියන මේ උතුමන් වහන්සේ අප්පිච්ඡතා, සන්තුට්ඨිතා පවිවේකතා, අසංසග්ගතා ආදී ගුණවලින් තම දිවිය ඔපවත් කර ගනිමින් ලාභ, සත්කාර, කීර්ති, ප්‍රසංසා ආදිය කෙරෙහි ඇල්මක් නොදක්වා, තම නිකාය සම්ප්‍රදායන් ද ආරක්ෂා කොට ගෙන, ගතකරන උතුම් පැවිදි ජීවිතය බාල මහලු කුමන භික්ෂුවකට වුවද, ආදර්ශ සම්පන්නය හ. ආරණ්‍ය භික්ෂුවකට උචිත වූ පාත්‍ර, චීවර ආදිය දරමින් දමනය කළ සිතින් යුතුව, බොහෝම සරලව ශ්‍රමණ දම් පුරන උන්වහන්සේ දුටුවන්ගේ ද ප්‍රසාදය ඇති කරවයි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පිරිනමන ලබන ශාසන කීර්ති ශ්‍රී පටිපත්ති සෝභන යන ගෞරව නාමය සහිතව මහෝපාධ්‍යාය පදවියද ලද අතිපූජනීය පහල විටියල ජනානන්ද මාහිමිපාණන් වහන්සේ ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවට සාඩම්බර අනුශාසකත්වය ලබා දෙමින් සම්බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් වත්මනේ ද උදාර මෙහෙවරක් සිදුකරන මහා යතිවරයාණන් වහන්සේ නමකි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට අනුබද්ධ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව නම් වූ දැවැන්ත වෘක්ෂයේ මූල බීජය රෝපණය කරන ලදීග හුදු සැරසිල්ලක් බවට පත්වෙමින්...
වැඩි විස්තර